පිටු

Thursday, February 12, 2015

ලොව හොඳම දේ දරුවන්ට...






නවම් මහේ පුර පසළොස්වක් පොහොය දා අපි රඹුක්කන බලා ඇදෙන මන්දගාමී දුම්රියට නැගුණා, තිස්මල්පොල යනු රිසියෙන්. ‘‘මල් වර්ග තිහක් විකුණන කඩ තියෙන්න ඇති..“ තිස්මල්පොල නම හැදෙන්න ඇත්තෙ කොහොමද අපි කතා වෙන අතර චේතනා දූ එහෙම කිව්වා. එයා පහ වසරට ගියා විතරයි. එහෙම සිතුවිල්ලක් ඇති වුණ එකත් කොයි තරම් දෙයක්ද? කොහොමින් හරි නම හැදුණෙ කොහොමද කියල අපි දැනගත්තෙ පසුව...

එදා තිස්මල්පොල යන්න සුන්දර හේතුවක් තිබුණා. අතිශය සුන්දර හේතුවක්. ඇත්තටම ඒක දරුවන්ගෙ වැඩක්. ඔබ මම හොඳින්ම දන්නා ලේඛකයෙකු, පරිවර්තකයෙකු, කවියෙකු වෙන අනුර කේ එදිරිසූරිය සහෝදරයගෙ ගමයි ඒ.... සරුසාර නිල්ලෙන් වටවුණු, එක් පසෙකින් මා ඔය ගලා යන, ගැමි සෞන්දර්යයෙන් තවමත් නොමිදුණු, ආගන්තුක සත්කාරයෙන් ඉස්තරම් අපූරු ගමක්. 

ගමේ අයත්, පන්සලේ ස්වාමින්වහන්සේලාත් එකතු වෙලා පන්සලේ පුංචි පුස්තකාලයක් ආරම්භ කළේ මේ වසර ඇරඹුමේදි. අපි එදා ගියේ ගමේ දරුවන්ට කියවීම් වැඩමුළුවක් කරන්න.

ස්වාමින්වහන්සේලාගෙන්, දායක සභාවෙන් ලැබුණු සහය උපරිමයි. පුංචිම දරුවන්ගෙ ඉඳල පාසලෙන් ඉවත් වූ වයස දක්වාම දරුවන් ඒ වැඩසටහනට සම්බන්ධ වුනා. ඒ දරුවන් හරිම ළෙංගතුයි. විනයගරුකයි. වැඩසටහන නිමාව දක්වාම මව්පිය පිරිසකුත් අපි සමග රැඳී සිටියා. ඒ අයගෙන් ලැබුනු සහයෝගයත් උපරිමයි. පොතපත ගැන වගේම ජීවිතය ගැනත්  දරුවන්ගෙ හිත්වලට කතා කරන්න අපට ඉඩ ලැබුණා.

ඈත ඈත දේශයක උන්නත් හදවතින් හැමදාම අපි ළඟ ඉන්න සොයුරකු ලබා දුන් පොත් ටිකකුත් දරුවන්ට තිළිණ කරන්න අපට හැකිවුණා.
ආශිර්වාදාත්මක සැනසුමකින් හද පිරුණු දවසක්...

ආපසු එන්නට දුම්රිය නැවතුමේ රැඳී සිටින අතරතුර ‘තිස්මල්පොල‘ නාම පුවරුව දුටු විගස නැවතත් අපට ගමේ නම ගැන ගැටලුව මතුවුණා.

‘‘ජනප්‍රවාදයක් තියෙනවා.. රජ කෙනෙක් මේ පළාතෙන් සංචාරය කරද්දි මේ හරියෙ මල්වර්ග තිහක් පිපිල තිබුණලු. තිස්මල්පොල කියන නම හැදුණෙ ඒ නිසාලු...“

උත්තරය ලැබුණෙ අනුර සහෝදරයගෙන්..
.......

අපි ආයෙම ලබන පෝයටත් එන බවට පොරොන්දු වෙලයි ආවෙ.. රසවින්දනය සහ නිර්මාණකරණය ගැන තවදුරටත් දරුවන් එක්ක කතාකරන්න.

........

තවත් ඇරයුමක් තියෙනවා ඔබට කරන්න.

මුණුපොතේ, බ්ලොග් ලෝකයේ අපි කොයි කවුරුත් හොඳින්ම දන්නා සිත්තරී නංගි ( තිළිණි ෂැල්වින්) දැන් චූටි ටීච කෙනෙක්. නංගි දැන් උගන්වන ඉස්කෝලෙ උඩුදුම්බර, කහටලියද්ද චූලාභය ද්වීතීය පාසල. ඉතින් ඒ පාසලේ දරුවන්ට පොත්පත්, පාසල් උපකරණ ලබා දෙන්නත්, පාසලේ අඩුපාඩු කිහිපයක් සපුරා දෙන්නත් මූණුපොත් සහෘද කැලක් සූදානම් වෙමින් ඉන්නවා. 


මෙන්න මෙතැනට ගිහින් වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් පුළුපුළුවන් අය තමන්ට හැකි විදියට මේ ආදරණීය වැඩේටත් සහයෝගය දෙමු...


5 comments:

  1. විය යුත්ෙත් ඒයයි. ෙලාව ෙහාදම ෙද් දරුවන්ටය

    ReplyDelete
  2. හොඳම දේ දරුවන්ට තමයි දිය යුත්තේ,එතකොට ඒ දරුවෝ වැඩිහිටියෝ වුණාම සමාජයට දෙන්නෙත් හොඳම දේ තමයි.

    ReplyDelete
  3. තිස්මල්පොල එනව කියල දන්නව නං මාත් එනව නෙව තරු අක්ක බලන්ට
    හෆොයි... දැං ඉතිං ඇවිත් ගිහිනුත් අහවර නෙව....

    ReplyDelete
  4. අගේ අැත් උත්සහයක්................ අගය කරනවා ...

    ReplyDelete
  5. කරපු වැඩෙත් ඒ ගැන ලියපු විදියත් දෙකම අලංකාරයි තරු. සිත්තරී ගේ ඉස්කෝලෙ විස්තරෙත් බැලුවා.. 20 නම් යන්න වෙන්නෙ නෑ.. වෙන උදව්වක් කරන්න බලමු. මූණු පොතේ තරූ ට රික්වෙස්ට් එකක් දාල දැන් ගොඩක් කල්.. අඳුන ගන්න නැතුව ඇති නම නිසා මං හිතන්නේ..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...