පිටු

Sunday, March 9, 2014

නැණ පහන් දල්වන තිලැස ගී රස....

ජීවිතය වැඩි වැඩියෙන් ‍අයිති කර ගත හැක්කේ ජීවිතය වැඩි වැඩියෙන් බෙදා ගැනීම මඟිනි.



මහින්ද නාමල් සොයුරාගේ ගේය පද සංකල්පනා සත්සර මියැසියක රඳවන ''තිලැස ගේය ප්‍රසංගය'' 2014 මාර්තු 16 සවස 2.30 ට කළුතර සිරිකුරුස විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර සහෘද ඔබ සැමට ඒ සඳහා ගෞරවයෙන් ඇරයුම් කරමු.

කලමුල්ල සුදුවැල්ලේ ‍කොළකැඳ පුස්තකාලය හෙවත් පියවර පුස්තකාලය සඳහා අරමුදලක් ගොඩනැංවීම වෙනුවෙන් පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය- කටුකුරුන්ද ශාඛාව විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එකී අර්ථපූර්ණ ගී දැහැන නොමඳ වින්දනාත්මක අත්දැකීමක් වනු නිසැක ය.

කොලකැඳ පුස්තකාලය



දුප්පත් ළමා ළපටින් එක්සත්ව එක්සිත්ව හාල් මිට, පළා මිට, පොල් ගෙඩිය රැස් කර සිය ශ්‍රමයෙන් වැඩිහිටි දායකත්වයෙන් සැදූ කොළකැඳ ගෙයින් ගෙට ගොස් විකුණමින් වසර ගණනක් පුරා විටින් විට, ටිකෙන් ටික රැස් කළ මුදලින් ඉදි කළ කියවීම් ශාලාව ‍ කොළකැඳ පුස්තකාලය ලෙසින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිත වන්නේ එහි ප්‍රමුඛ මූල්‍ය ප්‍රභවය කොළකැඳ අළෙවිය වූ බැවිනි. 




රටක්‍ ලෙස ජාත්‍යන්තරයට අතපාමින්ද, මිනිසුන් ලෙස රජයට හෝ ධනපතීන්ට හෝ අතපාමින්ද හීන දීන වී ඇති සමාජයක මේ දරුවන්ගේ ධෛර්යය අගය කරන්නට වදන් සවිමත් වන්නේ කෙලෙසින් ද? එය සැබවින්ම පරමාදර්ශී සමාජ මෙහෙවරකි.



කලමුල්ල මුහුදු වෙරළ අසබඩ පිහිටි මෙම පුස්තකාලය සුනාමි ව්‍යසනයෙන් පසු ඒ ප්‍රදේශයේ ඉතිරි වූ එකම ගොඩනැගිල්ල වීම ‍ඓශ්චර්යයකි. පසුව ජනතා ආධාර මත කලමුල්ල රිදී මාවතේ ඉදි වී දැන් ළමා, තරුණ, වැඩිහිටි 1000 කගේ පමණ කියවීමේ අවශ්‍යතා සපුරාලයි.



HELP TO READ

වසර අටකට පසුව කොළකැඳ පුස්තකාලයේ අළුත්වැඩියාව, සංවර්ධනය සහ තිරසර පැවැත්ම වෙනුවෙන් අරමුදලක් ගොඩනගා ගැනීමේ සමාජ සත්කාර්යයක අවශ්‍යතාව පැන නැගී ඇත. එකී ව්‍යාපෘතිය Help to Read නම් වේ.

මෙම අරමුදල සඳහා ඔබගේ ‍සහෝදරාත්මක සහය ලබා දෙන්නේ නම් එකී දායකත්වයන් ලංකා බැංකුවේ පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය (කටුකුරුන්ද ශාඛාව)  75572895 දරණ ගිණුම් අංකයට යොමු කළ හැකි ය.



මහින්ද නාමල්

වචනය ද  ක්‍රියාව ද දෙකක් නොව එකක්ම වන, තමන් කතා කරන දේ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින, මගේ ජීවිතයේ හමු වී ඇති අතිශය ප්‍රසන්න, ආදරවන්ත, මානව හිතවාදී මිනිසුන් අතළොස්ස අතර මහින්ද නාමල් සොයුරා සිටින්නේ ප්‍රමුඛස්ථානයේ ය. මා ඔහු දන්නා අතීතය වසර 15 ක් පමණ වුව ද, ඔහුගේ සමාජ ක්‍රියාධර භුමිකාව වසර 25 ඉක්මවන්නකි.

ඔහු කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ය. පියවර නව යොවුන් ව්‍යාපාරයේ අනුශාසකවරයෙකි. ධීවර ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න වැනි විවිධ සමාජ අර්බුදයන්හිදී ක්‍රියාකාරීව පෙරමුණේ සිටින්නෙකි. ළමුන්, නව යොවුන් තරුණ පිරිස්, වැඩිහිටියන්, ගුරුවරුන් ආදි වූ සමාජයේ විවිධ පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් ගමින් ගමට, තැනින් තැනට යමින් දේශන, සාකච්ඡා, ගීත වැඩසටහන් පවත්වන, සැබවින්ම ජීවිතයේ අර්ථය කුමක්දැයි, එහි දිශානතිය කුමක් විය යුතු දැයි වටහා ගත්, එය අන්අයට සරලව පහදා දීමෙහි සමත් අපූර්ව මිනිසෙකි.

මහින්ද නාමල් සොයුරා ලේඛකයෙකි. කවියෙකි. ගේය පද රචකයෙකි. ‘‘අපේ කාලයේ යාග ගී” නම් වන ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්වන්නේ 1989 වසරේ දීය. ‘‘විනිවිද” ගේය පද සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයකි. ‘‘සෙනෙහසේ නවාතැන”, ‘‘සොඳුරු නව යෞවනය” නව යොවුන් විය නිවැරදි මං ගැන්වීමේ අරමුණින් සම්පාදිත කෘති ය. ‘‘නිදිකුම්බා මල්” යොවුන් නව කතාවකි.



නමුත් මේ සියලු හැකියාවන් යහපත් සමාජයක් වෙනුවෙන් සිදු කරන මෙහෙවරට දායක කර ගනු මිස එයින් බැබළෙන්න‍ට, පවතින්නට කිසිදු උත්සාහයක් නොදරන්නෙකි. සැබවින්ම ඔහු නොවි‍කිණෙන මිනිසෙකි. එලෙසින්ම මනුෂ්‍යත්වය නොවිකුණන මිනිසෙකි.  

ඔහු කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ආචාර්යවරයෙකි. එහි ශිෂ්‍ය නායක මණ්ඩලය සමග කළ රළ තරණය චිත්‍රපටය, දූතිකාවෝ වේදිකා නාට්‍යය, විකල්ප මාධ්‍ය භාවිතාවක අවැසිතාව අවධාරණය කරමින් කළ සවිකල්ප වැඩසටහන ගුරු භුමිකාවට නව අරුතක් සපයන ලද බව නොකිවමනාය. සිය ගුරු දිවියේ 25 වන වසර සමරමින් අර්ථපූර්ණ යමක් කරනු රිසියෙන් Help to Read ව්‍යාපෘතියට සමගාමීව තම ගේය පද සංකල්පනා සරණිය රැගෙන ඔහු අප හමුවට පැමිණෙන්නේ ය.

තිලැස ගී රස...

''දැන් හැදෙන ළමයින්ගෙ කිසි චාරයක් නෑ.."

''මේ ළමයි හරි මෝඩයි.. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ධෛර්යයක් නෑ..''

''මේ නම් අන්තිම නරක කාලයක්..සමාජය ගන්න දෙයක් නෑ.. අන්තෙටම පිරිහිලා..."

චෝදනා නගනු ද, යෝජනා කරනු ද විනා , යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට කිසිවෙක් නැත. ක්‍රියාත්මක වන්නට තැනක් නැත. ධෛර්යයක් හෝ උවමනාවක් නැත. බහුතර සමාජය අලස නිද්‍රාවක ය. එවැනි සමාජ වටපිටාවක නිහඬ නමුත් ඵලබර ගමනක යෙදෙන කිතුසර කණ්ඩායම, සහ පියවර නව යොවුන් ව්‍යාපාරය සැබවින්ම ‍ඓශ්චර්යයකි. එකී සමාජ මෙහෙවරේ කලාව සහ සාහිත්‍යයට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. එයිනුදු ගීතය සුවිශේෂ ය. මහින්ද නාමල් සොයුරාගේ අදහස්, සංවාද, ගේය පද සංකල්පනා හරහා මම ද ජීවිතය අත්දැක ඇත්තෙමි. අත්විඳ ඇත්තෙමි.  එය මට ජීවිතය දකින්නට අළුත් ඇසක් වූ බව නිසැක ය. හදවතට අළුත්හැඩයක් ලබා දෙමින්, වෙනස් ගමනක් සඳහා ජීවිතයට  අත්තටු පැළැන්දූ බව සිහිපත් කරනුයේ ස්තුතිපූර්වකව ය.



ඉදින්, ඔහු‍‍ ගේ ගේය පද සංකල්පනාවන්ගෙන් හැඩ වන තිලැස ගේය ප්‍රසංගය අර්ථපූර්ණ අත්දැකීමක් වනු නොඅනුමානය. යහපත් සමාජයක් පිළිබදව වන අපමණක් අපේක්ෂා පෙරදැරි කරගනිමින් නොනිම් අරගලයක නිමග්නව සිටින නාමල් සොයුරාගේ ගී පද රචනාවන්හි සෞන්දර්යාත්මක ගැඹුර නිර්ණය කිරීමට ‍‍වෙහෙසීම නිරර්ථක වෑයමකි. වඩා වැදගත් වනුයේ ඔහු එමගින් සමාජගත කරන්නට උත්සාහ කරන, සංවාදගත කරන්නට උත්සාහ කරන ජීවිතාර්ථය, සමාජාර්ථය ග්‍රහණය කරගැනීම ය.

මෙකී ගී ප්‍රසංගයට තෝරා ගෙන ඇති ගීත බොහොමයක් ළමා විය, නව යෞවනය, තාරුණ්‍යය ඉලක්ක කොට ගෙන ඇත. එසේ වන නමුදු එය වඩාත් වැඩිහිටි මනස, හදවත පුබුදු කරවන ගීතමය පෙළහරක් වනු ඇත. ගීතය ගැයෙන්නේ ඒ පිළිබඳව වන පූර්විකාවක් ද සමගය.

නූතන තාක්ෂණය සමග වල්මත් වී ඇති යෞවනයට, ඒ සමග වන ජීවිත ගණුදෙනුව දැනුවත්ව සිදු කළ යුතු කාර්යයක් බවත්, එය මනුෂ්‍යත්වය දිනවන්නක් විය යුතු බවත් සිහිපත් කරන ගීතයකි මේ.

මිනිසත්කමේ හඩ ඔබට ඇසේ නම්...
සෙල්ෆෝන් එකෙන් ඉයර් ෆෝන් එකෙන්
අයි පොඩ් එකෙන්
ඵල ලැබුවට කම් නෑ
මිනිස්කමේ හඬ ඔබට ඇසේ නම්
ලැප්ටොප් එකෙන් නෝට් බුක් එකෙන් ටැබ්ලට් එකෙන්
ඵල ලැබුවට කම් නෑ
මිනිස්කමේ ගුණ ඔබට දැනේ නම්

සයිබර් ආකාසෙන් ඵල ලැබුවට කම් නෑ
මේ මහා පොළවේ පය ගහලා ඉන්නවානම්
ඩිජිටල්කරණය වු වාණිජ ලෝකේ
පිරිපුන් මිනිස්කම් සොයනා
යෞවනයන් යෞවනියන් වී අපි
සත්තරණයකට පාලමක් තනමු

ඔබේ හැකියාවන් මිල කෙරුවත් ඔබ
ඔබේ උගත්කම මිල කෙරුවත් ඔබ
මිල කරන්නෙපා ඔබේ මිනිස්කම
පෙරුම් පුරා ලද උතුම් මිනිස්කම
දුලභ වු අමිල වු ඔබේ මිනිස්කම

ඔබේ මිනිස්කම විකුණන්නේ නැතිනම්
ටෙලර් කාඞ් එකෙන් ඊ පර්ස් එකෙන් ඩිජි කෑෂ් වලින්
ගණුදෙනු කෙරුවට කම් නෑ
ඔබේ මිනිස්කම විකුණන්නේ නැතිනම්
ඊ කොමර්ස් වලින් ඊ බෑන්ක් වලින් ඊමේල් වලින්
ගණුදෙනු කෙරුවට කම් නෑ
ඔබේ ආත්මෙට ලන්සු තියන් නැතිනම් 

අරාබිකරයේ මිලාන වූ මල රිසානා නමින් ලියැවී ඇති මේ ගීතය ඉස්ලාම් නීතියට ඇඟිල්ල දිගු කරන, නමුත් ඇය ඒ ඉරණමට තල්ලු කළ  අප දේශයේ පවතින අන්ත දරිද්‍ර, අන්තඅගතිගාමී සමාජක්‍රමය පහසුවෙන් අමතක කර දමන අප හෘද සාක්ෂියට තට්ටු කර යථාර්ථය අභිමුඛ කරවන්නට උත්සාහ කරන්නකි.

රිසානා රිසානා
අපේ හදවත රිදවනා
මතකයනි ඔබ සොයුරියේ
සදා අප හද රිදවනා

ඔබේ හිස වෙන් කෙරූ හේතුව
අරාබියේ නීතිය නොවෙයි
හිසට පොල් අතු බඩට ලූණු කැඳ
රට කරන අය සඟවනා

නොදරුවන් නොරටට යවන්නට
මව්පියන් හට සිදුවෙනා
රටක් සව්දිය පුරන්නේ
මිනිස්කම මියැදුනු නිසා

පාසල, අධ්‍යාපනය, ගුරුවෘත්තිය පිළිබඳව වන පූජනීය හැඟීම් වියැකී අන්ධකාරයට ඇදී යන සමාජයකට පහනක් දල්වන්නට දරන උත්සාහයක් මේ ගීතය තුළ ඇතැයි සිතේ.

මදහස පපා ... හිස අත ගගා
මුල් පොත කියු අම්මා
අපේ හිස නමා ... බැති සිත පුදා
වඳිමු පාසල් අම්මා

පියවර නගා .. දුව පැන නැටූ
ඔබේ සෙවනතේ
දූවිලි පවා ... අත්තටු නගා
ඉගිලෙන්නටා ... අප හුරුකෙරු
වේවැල පවා අප හදවතේ
දිවි ඇති තුරු
පූජනීයයි අම්මේ

පැය පහ අපේ .. සමකර බෙදු
ඔබේ සෙවනතේ
සීනුව පවා .. අපේ සිහිනයන්
නිති පණ පෙවු .. ඔබ සෙවනතේ
ගුරුමව් පියෝ අප හදවතේ
දිවි ඇති තුරා
පූජනීයයි අම්මේ

ළමාවිය මහත් ව්‍යසනයන්ට මුහුණ දුන් මෙතරම් අවාසනාවන්ත යුගයක් තවත් නැතැයි සිතේ. බාල අවධියේ විවාහ වූ ළමා මව්වරු දෙදහසක් පමණ උතුරු මැද පළාතේ සිටින බව හෙළි වූයේ මෑතකදීය. එය ජනජීවිතයේ සාමාන්‍ය අංගයක් විය හැකි නමුත් දරුවන්ගේ පැත්තෙන් කොතරම් අසාධාරණයක් ද? බාල වියේ නොදැනුවත් පෙම් සබඳතා හරහා ද, දැරිවියන් දූෂණයට ලක්වීම තුළින්ද ළමාමව්වරුන් බිහි විය හැකිය. ළමා මවකගේ සිතුවිලි විවරණය වන අයුරින් ලියැවුණු මේ ගීතය එකී ඛේදවාචකය අප වෙත සම්මුඛ කරවයි.
           
නැලිවිලි ගී මම කියන්නේ කොහොමද
ඊයේ පෙරේදත් මව් තුරුලේ උන්
ලේ කිරි කරලා පොවන්නේ කොහොමද
කිරි සුවඳත් තව මගේ මුවේ

සෙල්ලම් ගෙදරට යන්න ඉතිං මට
පුංචි දුවේ උඹ නිදිය ගනින්
කිව්වට නුඹ හට දුවේ කියා මං
මටත් කියන්නේ පොඩි දෝණියි තව

ඉක්කා එක්ක උඹ ගාලූ යවන්නලූ
ගුඩුස් අරින්නත් දන් නැතිලූ
අම්මෙක් වෙන්නේ ඔහොමද ඇහැව්වට
හරි උත්තරයක් මං දන්නෑ

පාසල් විය නිම වී සමුගෙන යන සිසු දරු දැරියන් වෙත ගුරු හදවතක ආශිර්වාදය පිරිනැමෙන අපූරු ගීතයකි මේ. ජීවිතය, මනුෂ්‍යත්වය පිළිබදව වන නොනිම් ආදරය එකී පදවැල් තුළ පණ ගැහෙන්නේ නොවේද?

පා සිඹින මල් දරුවනේ
පා නඟා යනු මැන ඉතිං
ජීවිතය වෙත ආදරෙන්
ජීවිතය වෙත ආදරෙන්

නුඹ නුඹ මැ නොව ලෝකයයි
නුඹව හැදු වැඩු සැම දෙනයි
දිවි ගෙවුම නම් පී‍්‍රතියෙන්
ඒ ලොවට පෙම් කිරිමයි

ඔබේ හද බිම වැපිරු බීජුවට
පොහොනි කර මල් ඵල දරනු මැන
කොහේ කොතැනක හෝ හිඳී මම
එමල් ඵලවල සුවඳ දෙනු මැන

සමුගැනිමක් නොවේමැයි මේ
අප සිටියි අපෙ හදවතේ
සත්‍යයේ හසරැල්ල නැගෙනා
තැනදි ඔබ මා මූණ ගැසේ...

තිලැස ගේය ප්‍රසංගයේ සත්සර මුසුව ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගෙනි. හඬ මුසුව ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා, ශෂිකා සොයුරිය, කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරා‍මයේ සිසු දැරියන් සහ මට්ටක්කුලිය දේවස්ථාන සංඝයේ ගායනා කණ්ඩායම විසිනි.

ඉතින් එන්න, අප හා එක්වෙන්න. ගීතයක රස විඳින්න. ජීවිතය අළුතෙන් කියවන්න.  



කිතුසර වෙබ් අඩවියට පිවිසෙන්න.... http://kithusara.org/sinhala/


යොවුන් පියවර මූණුපොතේ පිටුවට .... https://www.facebook.com/ypiyawara

8 comments:

  1. සුබ පැතුම් මහින්ද නාමල් අයියා !
    කළුතර සිරි කුරුස කියන්නේ මහින්ද නාමල් අයියා උගන්වන ඉස්කෝලේ නේ ? :)

    ReplyDelete
  2. ඉතාම හොඳ වැඩක්.. ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියා පතනවා.! ඒ වෙනුවෙන් වෙහෙසෙන ලොකු කුඩා සැමට මගේ ආචාරය !! වඩාත් සිත් ගත්තෙ කුඩා දරුවෙක් මුල්ගල තියන්නට සැරසෙන පින්තූරය. කොහෙවත් ඉන්න දූෂිත දේශපාලුවන් ගෙන්නා ගෙන හැම එකම කරන රටේ මේක ලොකු ආදර්ශයක්.

    ReplyDelete
  3. හොඳ වැඩක්.මගෙත් සුබ පැතුම්....!!!

    ReplyDelete
  4. සුබ පැතුම් එක්කරමි

    ReplyDelete
  5. ඔන්න මමත් මුළු හදවතින් ම සුබ පැතුවා!

    ReplyDelete
  6. කොළ කැඳ පුස්තකාලය සමාජයට හොඳ ටොක්කක් අනිනවා. මම ඒ ගිණුමට සුළු ආධරයක් එකතු කරනවා.ස්තූතියි පනිවිඩයට.

    ReplyDelete
  7. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් පොත් ලබාදීමේ ව්‍යාපෘතු ක්‍රියාත්මක කෙරෙනවා නේද ? ඒවායින් සහයක් ගන්න බැරිද අක්කේ ?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...