පිටු

Thursday, March 20, 2014

අත්හැරුණු පියාපතකට වුණත්





නිම් නොවන අහස්කුස 
හුදකලාවම සරන
අත්හැරුණු පියාපතකට වුණත්
නැතිද හීනයක්....
තමන්ගෙම හීනයක්...

ඉරට හොරෙන්... හඳ මලට යටින්
සැඩ පවන මැදින්.. කළුවරට බියෙන්..
හසරක් නොදැන සසරක සරන
අත්හැරුණු පියාපතකට වුණත්....

අනවැසිද නැවතුම්පළක්
ස්නේහයේ උණුහුම් බිමක්..
කවුරුත්ම හිමිකම් නොකියන
කවුරුත්ම යන්නැයි නොකියන...

අකල් අකුණු සරටත්
තිගැස්සෙන...
සිහින් සිරි පොදයටත්
හිරි වැටෙන...
ආත්මය මිටින් ගෙන
හුදකලාවම සරන
අත්හැරුණු පියාපතකට වුණත්...

තමන්ගෙම හීනයක්..
තමන්ගෙම ප්‍රේමයක්..
නොවන්නට කරුණු කිම...?

6 comments:

  1. තමන්ගෙම හීනයක් නැති තමන්ගෙම ප්‍රේමයක් හිමී කරගන්නට අකමැති කවරෙක්ද තරු අක්කේ.

    ReplyDelete
  2. හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා කියන සිංදුව මතක් වුනා.

    ReplyDelete
  3. මට මගේ නොවන ආදරයක් තිබුණා කියලා අමරසිරි පීරිස් ගයන්නෙ............

    ReplyDelete
  4. නිම් නැති අහස්කුස අරමුණක් නැතිව
    තනිව සරන කුරුල්ලෝ තව ඇති
    අතහැරුණු පියාපත් පවා සොයමින්
    වෙහෙසෙන...
    හමුවේද උණුසුමක් එපියාපත් යට
    ඉතිරිකර තබා ගිය සෙනෙහස්
    පොදක්....?

    ReplyDelete
  5. හමුවේවි ඔවුනට අහස්කුස
    සුළඟේ පා කල කවියක්...
    ඔවුන්ගේ හීනයම අකුරු කල
    උණුසුම් වේවි හුදෙකලා ආත්මය
    තෙරක් නොපෙනෙන අහස්කුස වුව
    විසල් නොවනා බව
    ලෙංගතු කවියක අරුත තරම්...

    ReplyDelete
  6. තමන්ට තමන්වත් නැති කල තමන්ගේ ප්‍රේමයක් කොයිබද !!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...